ඔබත් කියවන්න එකතුවන්න

Monday, April 18, 2011

මූන්ගේ කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාදය හිමිවෙ


එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර ඇති උපදේශන කමිටු වාර්තාවට තම පක්ෂයේ ප්‍රසාදය හිමිවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ‍බී.බී.සී. දෙමළ සේවය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ. 

ජගත් මහලේකම් බැන්කි මූන් මහතා විසින් පත්කළ උපදේශන කමිටු වාර්තාවේ අන්තර්ගතය නිවැරදි බව ඔහු සඳහන් කරයි. 

යුද සමයේ දී තමන් වරින් වර පාර්ලිමේන්තුවේ දී මෙම වාර්තාවේ ඇතුළත් ඇතැම් කරුණු හෙළි කළ බව ද සම්බන්ධන් මහතා පෙන්වාදෙයි. 

උපදේශන කමිටුව විසින් තමන් හෙළි කළ කරුණු සලකා බලා ඒවා සනාථ කර ඇති බැවින් මෙම වාර්තාවට තම පක්ෂයේ ප්‍රසාදය හිමිවන බව ඔහු පවසයි. 

වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

Sunday, April 17, 2011

ජනපති මහින්ද සිව් වැනි තැනට එයි

 මාතෘ භූමිය වෙනුවෙන් විදුලි පුටුවට යන්න සූදානම්
ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයින් තේරීමේ සමීක්ෂණයට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිව්වන ස්ථානයට පැමිණ තිබේ. 

ලෝකයේ දිශානතිය වෙනස් කිරීම සඳහා බලපෑමක් කළ හැකි පුද්ගලයින් මෙහිදී ජනමත සමීක්ෂණයට ලක් කෙරෙයි. දේශපාලනය, කලාව, ආදී සෑම අංශයකින්ම කැපී පෙනෙන පුද්ගලයින් මෙහිදී ජනතාවගේ කැමැත්ත‍ට ලක්වන බව සඳහන්වේ. 

ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් වාර්ෂිකව මෙවැනි සමීක්ෂණයක් සිදුකෙ‍රෙන අතර එමගින් විශිෂ්ඨතම පුද්ගලයින් සිය‍දෙනෙකු නම් කිරීමට නියමිතය. මෙවර මෙම ජනමත සමීක්ෂණය අප්‍රේල් 21 වැනිදා තෙක් සිදුකෙරෙයි. 

මේ වන විට එම සමීක්ෂණයට අනුව අමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා 46 වන ස්ථානයේ ද සෝනියා ගාන්ධි සිය වන ස්ථානයේ ද පසුවෙයි. කෙසේවෙතත් අප්‍රේල් 21 වැනිදායින් පසුව ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයින් සිය දෙනා ටයිම් සඟරාව මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. 

එහිදී ජනමත සමීක්ෂණයෙන් ලද ප්‍රතිඵලයට අමතරව ටයිම් සඟරාවේ කතෘ මණ්ඩලයේ නිර්දේශය මත පුද්ගලයින් සිය දෙනා තෝරාගැනෙනු ඇති බව සඳහන් වේ..